April 17, 2017

දවස් 9කට පස්සේ පාස්වර්ඩ් එක මතක නෑ කියහංකෝ...


ඔන්න අප්‍රේල් 7 වෙනිදා හවස යනවා ගෙදර, දෙන්නම් මේ සැරේ අවුරුද්ද කුඩු වෙන්න කියලා හිතාගෙන.  මොකද අප්‍රේල් 11, 12 දෙකම ප්ලෑන් කරලාම දැම්මනේ නිවාඩු. ඉතින් ගජරාමේට නිවාඩුව සමරන්නයි තියෙන්නේ. ආයෙත් ඔෆීසිය පැත්තේ යන්නේ හෙන කාලෙකින් කියලා මාර හැපී එකේ ගෙදරට වෙලා ඉන්න අස්සේ සොෆින් එහෙමත් ගියා ඔන්න.

යකෝ මිනිස්සු අවුරුදු එන්කම්ම ඉඳලා නොවැ රෙදි ගන්න. මෙච්චර කල් රෙදි ඇඳලා නෑ වගේ මිනිස්සු පොර කකා රෙදි ගන්නේ. අපේ අම්මේ!!! පරණ අවුද්ද දවසේත් මිනිස්සු බඩු ගන්නවා හිටු කියලා. අනේ මංදා...


ඉතින් ඔව්වා මෙව්වා අස්සේ අවුරුද්දත් ඇවිල්ලා කලා බීලා බීලා බීලා ජොලි කරලා ආයෙත් ජොලි කරලා හෙන ෆන් එකේ හිටියා කියහංකෝ.

අප්‍රේල් 15,16 ත් ඉවර වෙලා ඔෆීසියට ඇවිල්ලා කොම්පියුටරේට ලොග් වෙන්න බලනකොට මෙන්න කවුද මගේ පාස්වර්ඩ් එක මාරු කරලා කියහංකෝ..... ලොල්යැ...

මතක මතක ඔක්කොම ගහලා බැලුවා.. කොහෙද මාරු කරපු එකා මාර අමාරු එකක් දාලානේ... මමත් අතඇරියේ නෑ... පට්ට හැක් එකක් දාලා අන්තිමට හොයා ගත්තා හෙණ ගේමක් දීලා...

අම්මෝ!!!
ආයේනම් නිවාඩු යනකොට පාස්වර්ඩ් එක කොලේක ලියලා මොනිටරේ එල්ලලා තමයි යන්නේ ඔන්න. මේක කොරන්න පුළුවන් මගුලක්යැ...

December 19, 2016

නත්තල් සාදය



නත්තල මහ ඉහලින් සමරන මේ රටේ(ස්වීඩන්) උන්දැල අපිටත් එන්න කියාපි සාදයට. ඉතින් ඔන්න අපිත් සෙට් උනා කියමුකෝ.

ඔෆීසියේදීම සල්ලන් වෙන්න තරං මුන්දැලෑ කරුණා උනා කියහන්කෝ. මාත් මොකෝ කියලා වයින් වීදුරු දෙකතුනාක්ම නාමාගත්තා.


පස්සේ ඉතින් අර ඉස්සරලා කියපු සුදු නැන්දාගේ රථ ගායේම නැගලා ගල් ගුහාවකට ගියා කියහන්කෝ. ගල් ගුහාව කිව්වට මේක, මේ උන්දැලෑ හෙන ඉස්සර කාලේ යුද්ධයක් ආවොත් බේරෙන්න කියලා හදාපු එකක්.

මෙහේ යුද්ධ කියන්නේ හරියට අපි පොඩි කාලේ අල්ලන සෙල්ලන් කොරනවා වගේ, නැත්තම් හොරා පොළිස් කරනවා වාගේ.


දැන් උඹලා යටත් කිව්වාම හරි අපි පරාදයි කියලා බාරගන්නවා වගේ සිද්ධියක්. එව්වට අපේ රටේ යුද්ධ. මට මතක් උනේම අපේ රණසූර ආමි කොල්ලෝ ටික. අනේ වාසනාවන්...

ඉතින් මමයි තව එක ඉන්දියන් ගෝතයෙකුයි සෙට්උනා සාජ්ජේට. ඉතින් පටන් ගත්තේම ඒ කිව්වේ වෙල්කම් ඩ්‍රින්ක්රි එකම ඇල්කොහොලික් කියහන්කෝ. අනේ ඒපා කියලා එක හුස්මට ගහලා දැම්මා. ඔන්න කෙලි පොඩ්ඩක් ආවා මල්ලක් අරගෙන මොනවද ඇතුලේ ලාගෙන. ගන්න කියපි එකක්. ඔන්න අරගෙන බැලින්නම් මම ඉඳගන්න තැන. ඒක නම් අගේ වැඩේ.. නැත්නම් වෙනදා ගැට්ටටමනේ සෙට් වෙන්නේ. මං හිතෙන්නේ මේ කරමේ නම් අගය කොරන්න ඕනෑ.

තුන්ඩු දාලා ඉඳගන්න තැන දුන්නාම හැමදාම නොදකින එවුන් එක්ක ගැටෙනවානේ. මේකනේ වෙලා තියෙන්නේ අපේ රටේ කෙල්ලෙන්ගේ මහා ගැට්ටනේ. උන් හිතාන ඉන්නේ කොල්ලෙක් කතා කලාම පැණි හලනවා කියලා. බොරුවට පුම්බාන යන්නේනේ උන් තනන්නේ. මොනා කොරන්නද ජම්මේ හැටිනේ. ඉතින් මෙහෙම තුන්ඩු දාන්න ගියොත් අපේ කෙල්ලෝ ගෙදරින්ම තුන්ඩු හදාගෙන ඇවිල්ලා ඉස්සර වගේම එකම ගැට්ටට සෙට් වෙලා පුම්බාන් ඉඳින් අම්මපා..

ඒක වැඩක් නෑ...

ඔන්න සාජ්ජේ පටන් ගත්තා. අද කෑම මුන්දැලෑගේ පුරාණ විදියට කියාපි. ඒ කිව්වේ පටන් ගත්තේ සීතල කෑම. විශේෂ පාන්, බටර්, චීස්, ප්‍රොසෙස් කරපු සැමන් මාළු, බිත්තර.. මේ වගේ ජාති ගොඩයි. හැබැයි හැම එකක්ම සීතලයි.

ඔන්න ඒ රවුම බෙදාගෙන ආව. මෙන්න බොලේ මේසේ පුරා බීම. එතැන තිබ්බා විශේෂ නත්තල් බීර එකක්. අනේ ඉතින් දෙයියනේ කියලා නමා ගත්තා. ඔන්න දෙවැනි රවුම. ඒකේ තියෙන්නේ උණු කෑම. ඒ කියන්නේ තම්බාපු අල, පෙති ගහපු මස්, බැදපු අල, මීට් බෝල්ස්, සොසේජස් වගේ එව්වා.

ඉතින් මේක බෙදාන ගියාම බෝලේ ආවනේ පොඩි කුප්පි සෙට් එකක්. ඒක ඕනෑළු මේ මස් කන්න, සැර 41.5%. අමුවේම ගහන්නත් ඕනෑ. අනේ එපා කියලා ඇදලා ඇරියා. (අතරින් පතරට අර විශේෂ බීර)


ඊළඟට අතුරුපසට පළතුරු. ඊටත් පස්සේ කෝපි. ඔන්න සරුවට කන වැඩේ නම් ඉවරයි. ඔන්න පටන් ගත්තා සින්දු කියන්න. ඊටත් පස්සේ නටන්න ගත්තා. (අතරින් පතරට අර විශේෂ බීර) මටත් ගාණට වැදිලා තියෙන එකේ මාරු වෙන්න වෙලාව හරි වගේ තේරුණා.

අර සුදු නැන්දා ආයෙත් අපේ වාසනාවට වගේ ගෙදරටම ගොසින් බැස්සුවා අනේ වාසනාවන්. ඉතින් මේ විදියටට උන්දැලෑගේ නත්තල් සාජ්ජෙකටත් ඔන්න සෙට් උනා.




December 6, 2016

වාර්බර්ග් ගමන

ඔන්න මං ආවනේ ස්වීඩන් රටට පොඩි පහේ ඔෆීසියේ රාජකාරියකට. ඉතින් මෙහේ ඇවිල්ලා අදට සති දෙකකුත් ගෙවිලා ගියා. පහුවෙච්ච සතියේ සෙනසුරාදා අපේ සුදු නැන්දා අපිව එක්ක ගියා එයාගේ ගම රට පෙන්වන්න. ගොතම්බර්ග් කියන සිදාදියේ ඉඳලා හැතැම්ම 30, 40 එහා ගම් පොජ්ජක තමා එයා ජීවත් උනේ. ඉතින් මමයි, මගේ මිතුරියයි දෙන්නා කෝච්චි කට්ටක් සෙට් කරගෙන ගමන පිටත් උනා. අපේ රටේ වගේ කේක් ගෙඩි උස්සාන යතහැකෑ මේ සිදාදියේ. මෙහේ උන්දැලෑ ගෙනියන්නේ මල් තමා. ඒකත් කියන්නේ හරි පාට ගෙනියන්න එපැයි. එක එක පාටට එක එක අරුත. ඉතින් දර්ශියයි මමයි කරක් ගහලා ගහලා යන්තම් ගැලපෙනවා කියලා හිතිච්ච මල් ගහක්ම ගත්තා මලුත් එක්කම.

ඊට පස්සේ අපි දෙන්නා කෝච්චි කට්ටේ නැගලා යන්න ගත්තා. යකෝ ඒකේ දෙවැනි පන්තිය කිව්වට අපේ රටේ එකේ පන්තියේ එව්වට වැඩිය සැපනේ බොලන්. ඒත් අපිද ඔව්වා ගනන් ගන්නේ.!!! එකක් කියන්න ඕනෑ... මුං හැබැයි හරි වෙලාවටම ගමන. වෙලාව නම් වෙලාව. සක්කරයා එනවා කිව්වත් ඊළඟ එකේ තමා එන්න වෙන්නේ පරක්කු උනොත්.. ඒක නම් සිරා..

ඉතින් අපි ඔය කියන ගමට යනකොටම සුදු නැන්දා මග බලාන උන්නා. අපිව උනුහුම් හග් එකකින් පිළිඅරගෙන එක්කාන ගියා එයාගේ දූ පොඩ්ඩගේ වැඩ පෙන්වන්න. අනේ කියන්න ඇස්වහක් නෑ අගේ කෙලි පොඩ්ඩ. ඒකි පණ කඩාන හෑන්ඩ් බෝල ගහනවා. ඉතින් අපිත් දුන්නා පොඩි චියර් පාරක්. අපිටත් ඉතින් කැසිල්ලනේ..  ඉතින් කොහොමහරි ඒ සෙල්ලම් අහවර වෙලා ගියා දවල්ට කන්න. යන අතරේ බීච් එකටත් ගොඩ වෙන්න අමතක කලේ නෑ. රැල්ල පාගන්න කියලා හිතුනාට  කොහෙද මේ ගෙරි සීතලනේ. අනික අපේ වගේ සිරා රැල්ලකුත් තිබ්බේ නෑ. මට හිතුනා නැන්දාට කියන්න මෙව්වද බීච්.. අපේනේ තියෙන්නේ බීච් කියලා. ඒත් පව්නේ කියලා හිතලා කටට ඉබ්බා ලාගෙන හිටියා. ඉතින් ඊට පස්සේ ගියා කන්න.



අපි හිතුවේ පාන් ගිලින්න වෙයි කියලා. මොකද මෙහේ උන් ගිලින්නේම පාන්නේ. ඒත් ඒ පාන සිරා බොලව්. අපේ වගේ පුස් පානක් නෙමෙයි. පෙති දෙක කනකොට බඩ පිරෙනවා. අනේ මන්දා මොනවාදාලා හදනවාද කියලා. ඒත් අපේ නැන්දා අපිට පාන් ගිල්ලුවේ නෑනේ. දර්ශියයි නිර්මාංශ හින්දා මොකක්ද රොටියක් කෑවා. මම නම් දුන්නා හෙන ඉස්සෝ ගොඩකට. පට්ට රහයි. මුන් කියනවා මේ රටේ ලොකු ඉස්සො ඉන්නේ මේ පලාතේලු. මං ඉඳගෙන හිටිය හින්දා හරියට හිනාවෙන්න බැරි උනා බොලව්..


අපේ රටේ පොඩිම ඉස්සත් මීට ලොකුයි කියලා මට ආයෙත් කියන්න හිතුනා කියහන්කෝ.. ඉතින් නැන්දාගේ හිත පාරන්නේ මොටද කියලා වහගෙන හිටියා. කියන්න බැරි උනානේ ඉස්සෝ කනකොට බොන්නේ සිදු වයින්ලු. ඉතින් නැන්දා ඒකකුත් ඕඩර් කලානේ. ඉතින් කාලා බීලා ඉවරවෙලා ගියා නැන්දාගේ ගෙදරට. ලස්සන පොඩි පැල්පත.. ඉතින් ගොහිල්ලා කෝපි දුන්නේ නැතෑ. මට අල්ලන්නේ නෑ ඔය කලු කෝපිය. ඒකටත් එක්ක දර්ශිය. මේකි එක හුස්මට ඇදලා ඇරපි. පස්සේ තමා දෙන්නේ ඒකි බීලා තියෙන්නේ බඩේ ආරස්සාවට....

 ඉතින් ඊටත් පස්සේ එයාගේ රතගායෙන්ම අපිව අපේ සිදාදි පොජ්ජට ගෙනත් ඇරලුවා. අපිත් එයාට සමුදීලා අපේ ගේ පොජ්ජට කකුල් පැද්දුවා හිමීටම.

මේ ඉන්නේ අපේ සුදු නැන්දා...

October 18, 2016

අදට තුනයි හයයි නමයයි



අපි බැඳලා අදට අවුරුදු 9ක් වෙනවානේ. මාර සීන් එක. කාලය ගත වෙනවා කියන්නේ හිතා ගන්නවත් බැරි වේගයෙන්. මට හිතෙන්නේම ඉස්සර කාලේ තත්පරේකට තිබ්බ  කාලය, දැන් තත්පරේකට තියෙන කාලයට වඩා ලොකු වෙන්න ඇති කියලාමයි. උදේ වැඩ පටන් අරගෙන පොඩ්ඩක් එහේ මෙහේ බලනකොට දවල් වෙලා ඔන්න. දවල්ට කාලා හරියට හුස්සමක් ගන්නකොට වැඩ ඇරෙන වෙලාව ඇවිල්ලා. ගෙදර ගිහින් රෑට කාල ටී.වී. එක දාන්න හදනකොටම ඔන්න මහ රෑ 12 වෙලා. ඉතින් නිදාගන්නවා ඇරෙන්න වෙන මක්ක කරන්නද.

මීට අවුරුදු 10 විතර ඉස්සර දවසකට ගොඩාක් වැඩ කලා හිතෙන වාරගාන නම් ඉහේ කෙස් ගානටත් වඩා වැඩියි. අනේ මන්දා මොනා වෙලාද කියලා. විශේෂයෙන් සෙනසුරාදා ඉරිදා කියන දවස් දෙක. බුදු අම්මෝ! සිකුරාදා වැඩ ඉවර වෙලා ගෙදර ගිහින් නිදාගත්තාම, සෙනසුරාදා ඉරිදා දවස් දෙකම එක රෑ නින්දෙන්ම ඉවර වෙනවද මන්දා. මොකෝ ඇහැරෙනකොටම සඳුදා වෙලානේ. මේක මාර කෙලියක්නේ. ඉතින් බලහල්ලකෝ ඒකෙත් අරුමේ.


ඒක නෙමෙයි, අද කතාවේ 9, 6, 3 ඉලක්කම් තුනයිනේ. 9 කියන්නේ බැඳලා අවුරුදු නමයයි කියන එක. හය කියන්නේ අපේ ලොක්කගේ වයස. එතකොට තුන වෙන්නේ පොඩි එකාගේ වයස වෙන්න එපැයි.

මේ තියෙන්නේ පරණ ලියමනක්. "අපේ පුතා මෙළොව එළිය දකී"  

ආ කියන්න අමතක උනානේ. අද අපේ පොඩි උන්ගේ සීයාගේ උපන්දිනේ. ඔන්න එයාටත් සුබ පැතුම් එක කලා. කාගේ මොන උත්සවේ ආවත් උන් දෙන්නා අහනවා මට මොනවද තෑගි තියෙන්නේ කියලා. බලහන්කෝ ඒකෙත් හැටි. උන්ගේ උපන්දිනේටත් උන්ට තෑගි. අපේ උපන්දිනේටත් උන්ට තෑගි.


කතාව කෙටියි. අද වැඩ ගොඩයි. අරුන් දෙන්නා එක්ක කොහේ හරි යන්න ඕනෑ. රැජිණටත් ස්පෙෂල් සම්තින් දෙන්න ඕනෑනේ. හවස පන්සල් යන්නත් එපැයි. ඉතින් එහෙනම් ඕං මං ගියා.