December 31, 2009

අවසාන ලියමන - 2009

මේ ලියන්නේ 2009 වසරේ අවසාන ලියමනයි.

අද මම නෝනත් එක්ක අළුත් අවුරුද්දට බඩු ගන්න ගියා...
බුදු අම්මෝ.......
මාර සෙනඟක් හිටියේ.... අපිට එපා උනා.....

ඉතින් මේ අවුරුද්දේ අන්තිමට ඉගෙන ගත් පාඩම තමා ලබන අවුරුද්දේ දෙසැම්බර් 31 වැනිදා කඩේ නොගිහින් සිටිය යුතු බවත් ඊට සති දෙකකටවත් කලින් බඩු ගත යුතු බවත්ය.



ලබන්නා වූ 2010 වසර වසනාවන්ත සියළු පැතුම් ඉටුවන නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමු.



කියන්න අමතක උනා.....
මාත් එක්ක මේ බ්ලොග් අමාරුවෙන් හරි කියවපු/නොකියවපු හැමෝටමත් බොහොම ස්තුතියි...
ලබන අවුරුද්දෙත් අමාරුවෙන් හරි කියවන්න සෙට් වෙන්න කියලා ආරාධනා කරමු.

/මම හා මගේ බිරිඳ

December 29, 2009

අම්මා... අම්මා... සෝ මෙනි ලාලයාස්....

මෙම සිදුවීම තරමක සිනහ යන එකකි. සිද්ධිය සිදු වූයේ මගේ නැන්දම්මාගේ නංගීගේ (සුදු අම්මාගේ) ගෙදරදීය.

සුදු අම්මාට දරුවන් දෙදෙනෙක් වන අතර දෙදෙනාම දැනට ජීවත් වනුයේ ඕස්ට්‍රේලියාවේය. ලොකු දුව විවාහ වී දරුවන් දෙදෙනෙක් සිටින අතර ඇගේ ලොකු පුතා හැදුනේ වැඩුනේද එම රටේමය. ඔහුට තවම වයස අවුරුදු 5 ඉක්ම නැත. නිවාඩුවක් ගත කිරීමට මුළු පවුලම ලංකාවට එන්නේ බොහෝ ආසාවෙනි. මා පැවසූ එම කොලු පැංචාට සිංහල නිවැරදිව කතා කල නොහැකිමුත් ගැට ගසා ගත හැකිය. දිනක් සුදු අම්මා සමග සෙල්ලම් කරමින් සිටි මේ පැංචාට හරක් රංචුවක් දකින්නට ලැබුණි.

තම වත්තට හරක් ආ නිසා කෝපයට පත් සුදු අම්මා,

"මේ ලාලයගේ හරක්... "

කියමින් හරකුන් එලවන්නට වූයේ මුන් "ලාල්ගේ" හරක් බව සුදු අම්මා දන්නා බැවිණි. කෙසේ නමුත් මෙය පැංචාට හරිම සතුටක් ගෙන දෙන්නක් විය.

ඔහු එකවරම අම්මා ළඟට ගොස් ...

පිංතූරේ මෙතනින් ගත්තේ.



අම්මා... අම්මා... සෝ මෙනි ලාලයාස්.... (amma.... amma... So many Lalayas...) කියන්නට විය.

"හරකාට" සිංහලෙන් "ලාලයා" කියනු ඇතැයි ඔහුට සිතෙන්න ඇත.

මෙම සිද්ධිය සුදු අම්මා අපිට පැවසූ විට අපටද සිනහ නවත්වාගත නොහැකි විය

December 28, 2009

ආයෙත් 110 ස්පර්ශ කළෙමි.

මොකක්ද මේ 110.
අහා… මේක මගේ උපරිම වේගයයි. පැයට කිලෝමීටර් 110 ක වේගයෙන් මම මගේ රෝද දෙක ආයෙත් පැද්දෙමි. මීට පෙර දෙවතාවක් මම එම වේගයට එය පැද ඇත්තෙමි. මගේ රෝද දෙක මිළදී ගෙන 3න් වන මාසයේදී මම පළමු වතාවට එය කළෙමි. දෙවන අවස්ථාව ඊට මාස කිහිපයට පසුව පැවති ද්වන්ධ තරඟයක් විය. තුන් වැනි වතාවටද මම බොහෝ එයම කළෙමි. මෙහි විශේෂත්වය නම් අවස්ථා තුනමටම මා යොදාගෙන තිබුණේ එකම මාවතක් වීමයි.

සෑම මසකදීම එක් වතාවක් හෝ මම ගමේ යෑම මගේ සිරිතකි. මගේ ගම (අඹන්පොල ) පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රිකයේය. වඩාත් නිවැරදිව දැක්වූවොතින් කුරුණෑගල සිට අනුරාධපුර යන ඇල්ල හරහා පාරේ එනම් අංක 57 මාර්ගයේ කුරුණෑගල සිට කිලෝමීටර් 50ක් පමණ දුරින්ය. මෙම මාර්ගයදී වාරියපොල නගරයේ සිට පාදෙණිය හන්දිය දක්වා මාර්ගය ඉතාම හොඳ අයුරින් නිමවා ඇත. බැලූ බැල්මට සැතපුම් 1/2ක් පමණ එක එල්ලේ කෙලින් දිවෙන මාර්ග කැබලි කිහිපයක්ම මෙහිදී ඔබටත් හමු වී ඇතිවාට කිසිදු සැකයක් නැත. මෙවැනි මාර්ගයක 60ට හෝ 70ට පැදීම සමහරවිට ගමන එපා කරවන්නට පිළිවන. එම නිසා ඔබ නොදැනුවත්ම 80, 90 ට මීටර් කටු කැරකීමට බොහෝ ඉඩ ඇත. නමුත් 100ක් හෝ 110ක් යනු හිතාමතාම රිය පැදවිය යුතු අගයකි.


එමෙන්ම මෙම ප්‍රදේශයේ අනතුරුද බහුලය. එම නිසා තැන් තැන්වල

“මෙය අනතුරු බහුල ප්‍රදේශයකි”,

“ප්‍රවේශමෙන් රිය පදවන්න” යනාදී වශයෙන් නොයෙකුත් ප්‍රදර්ශන පුවරුද දැකිය හැකිය. එහි තිබූ එක් පුවරුවක් මගේ මතකයේ රැදෙන්න විය.

වේගය පිනවයි
මරුවා කැඳවයි.

නමුත් මගේ සිත එය කියවූයේ මෙසේය.

වේගය පිනවයි.
මරුවන් දෙදෙනකු කැඳවයි.

මීට හේතුවවූයේ මා බොහෝවිට රෝද දෙකේ යන්නේ මගේ බිරිඳත් සමග වීමය. එම නිසා මා කිසිවිට මරුවන් දෙදෙනකු සිටිනවිට 80ට වඩා නොපදින්නට සිතා ගත්තෙමි. 110 යනු සැබැවින්ම මරුවාගේ වේගයකි. කොලුකමට 110 පිනවූවත් එය මාරාන්තික බව මට හොඳටම පැහැදිළිය. නමුත්….

December 27, 2009

මී රැජිණගේ මල් වත්ත - 3




මෙම පිංතූරද මා විසින් මගේ බිරිඳගේ මල් වත්තෙන් ගත් ඒවාය. 

අද නම් මෙම සටහන ලියන අවස්ථාවේදී මගේ බිරිඳද මා ලඟින් සිටී.
එම නිසා අද මෙය මල් ගල් කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න....


කැමරා වර්ගය - Sony Cyber-shot DSC-H7







December 25, 2009

සුබ නත්තලක් හැමෝටම ඔන්න.....



සුබ නත්තලක් හැමෝටම ඔන්න.....


/නිශාන්ත

December 23, 2009

මී රැජිණගේ මල් වත්ත - 2

මෙම පිංතූරද මා විසින් මගේ බිරිඳගේ මල් වත්තෙන් ගත් ඒවාය. මෙයද මල් ගල් කිරීමකි.
කැමරා වර්ගය - Sony Cyber-shot DSC-H7














ආප්ප ගැලවිල්ල හා අබ බැදිල්ල

මේ කතාවනම් වැඩිය පිරිමින්ට වැදගත් නැති එකක් වේවි. මොකද අපි ආප්ප උයන්නේ නැති හින්දා. ඒත් ඒක දැනගෙන හිටියතනම් කමක් නෑ මං හිතන්නේ.

මේ මෑතකදී, ඒ කියන්නේ දවස් දෙකකට විතර කලින් විවෘත කරපු ආප්ප කඩයකට කියා මම කන්න මොනවා හරි ගන්නම් කියලා. ඇත්තටම ආප්ප කඩයක් වුනත් ඒකෙ ඉඳි ආප්පත් තිබ්බා. මං ගියාම දැක්කා එතන අවුරුදු 30ක් විතර අක්කා කෙනෙක් ආප්ප දානවා. එතන හිටියා තව වයසක ආච්චි කෙනෙකුත් ඇවිල්ලා ආප්ප ගන්න ඇවිල්ලා. මම පස්සේ ආපු නිසා ආච්චිට තැන දීල මම පස්සේන් හිටියා. අර අක්කා ආප්ප හදනවා, ඒත් ආප්ප ලේසියෙන් ගැලවෙන්නේ නෑ. මාර ගේමක් දෙනවා ඒක ගලවන්න. මේක දිහා ආච්චී හොඳට බලාන උන්නා. දෙවැනි ආප්පෙත් එහෙමයි. පස්සේ ආච්චී මෙහෙම කිව්වා.

පිංතූරේ ගත්තේ මෙතනින්...

"පුතේ ඔය තාච්චියේ අබ පොඩ්ඩක් බැදලා ගන්න. එතකොට නියමෙට ආප්පෙ ගැලවෙනවා... ඕනැම ගැලවෙන්නේ නැති තාච්චියකට ඒක නියම බෙහෙත."

මෙහෙම කියපු ආච්චි අර කැඩිච්ච් ආප්පවලින් කිහිපයක් මිලදීගෙන යන්න ගියා. මම නම් ආප්ප ගත්තේ නෑ. ඉඳි ආප්ප ටිකක් අරගෙන මාත් ගියා. ඊට දවස් දෙකකට පස්සේ මම අයෙත් ගොඩ උනා අර අක්කගේ කඩේටම. මෙන්න බොලේ මෙයා දැන් "කිසි කිසි" ගාලා ආප්ප දානවා.

මං නිකමට වගේ අහුවා "අක්කේ අර ආච්චි කියපු අබ වැඩේ, ඒක වැඩ කලාද?" කියලා.

"අනේ ඔව්නේ මල්ලී.. ඉතින් අපි දන්නේ නෑනේ ඔය වගේ දේවල්. දැන් හොඳට ගැලවෙනවා.. මේ බලන්නකෝ"

කියමින් ඇය වැඩ දමා තවත් ආප්පයක් ගලවා පෙන්නුවාය. ඉතින් මම කියන්නෙත් ඔය ආප්ප ගැලවෙන්නේ නැති තාච්චි තියේ නම් ඉතින් අබ පොඩ්ඩක් බැදලා බලන්න කියන එකයි.

අපේ බබා - 3 වන මාසය

ඔක්තොම්බර් 20 වැනිදාට අපේ නූපන් බබාට මාස 2ක් ගෙවී 3 වන මාසයද එළඹ තිබුණේය. මෙම මාසයනම් තරමක භයංකාර එකක් විය. මා එසේ පැවසුයේ ඇයිදැයි මෙම පිටුව අහවර වන විට ඔබට හොඳටම අවබෝද වනු ඇත. දැන් දැන් මගේ බිරිඳට කෑම අරුචිය නිතර සෑදෙන්නේය. ගැබිණි සමයේ මුල් මාස කිහිපයේදී "උදා වමනය" බොහොම සාමාන්‍ය දෙයකි. "උදා වමනය" යනු මොකද්ද කියලා මගෙන් නම් අහන්න එපා. ඒක ඕනෑම අම්මා කෙනෙකුන් අසුවහොත් මනා පිළිතුරක් සොයා ගත හැකිය. නමුත් මෙම වමනය උදා වමනයයැයි නම් කලද සමහරුන්ට මෙය දවස පුරාම පවතී. මගේ බිරිඳටද දවසේ වැඩිපුර කාලයක් මෙම ක්‍රියාවලියට සම්බන්ද වීමට සිදුවිය.

උදෑසනම නැගිටින ඇය වෙනදා වගේම කිරි කෝප්ප දෙකක් සාදන්නීය. ඇය බොහෝ විට කිරි එක නිවා බොන්නට කැමතිය. නමුත් මා නම් කැමති උණු උණු කිරි කෝප්පයටය. තේ එක සාදන අතරතුරේ මා අවධි කරනා අතර මමද මූණ සෝදාගෙනවිත් ඇගේ රසම රස කිරි එක බොන්නේ හරිම ආසාවෙනි. මීළඟට ඇය බත් එක ලිපේ තබා එළවළුක් දෙකක් සාදන්නීය. මෙන්න මෙම වෙලාවේ ඇයට "උදා වමනය" පටන් ගන්නේය. දැන් ඉතින් කිසිවක රස බලන්නට ඇය සූදානම් නැත. වෙනදා කිරිවල රස බලා පදම නියම ගානට ඇත්දැයි විමසන අතර දැන් ඇය කිරි සුවඳටත් කැමති නැත.

"අනේ මම කිරි හැදුවා. රහනම් බැලුවේ නෑ. පොඩ්ඩක් බලන්න අනේ." කියමින් ඇය එම කාර්යය මට පවරන්නීය.
අනේ! අහොයි! "අපි කවදද රහ බල බල කිරි හැදුවේ. හැදිච්ච කිරි එකේ රහ බලනව මිසක්.." කියලා මම ඔන්න ඔහේ කිරි එක ඇදලා අරිනවා.

මටනම් කිසිම අමුත්තක් දැනෙන්නේ නෑ. මට හිතන්නේ ඇය පුරුද්දට දමන පදම මම "හෙන ගේමක් දීලා" හදන එකට වඩා රසයි කියාය. කෙසේ හෝ දැන් පැමිනෙන්නේ මහත් භයංකාර අවස්ථාවයි. "අනේ... ඔය හොද්දේ ලුණු බලනවද?... අනේ අනේ...මේ සම්බෝලේ ඇඹුල් ඇද්ද්?" මෙලෙස නොයෙකුත් ආහාර වර්ග වල පදම බැලීමට දැන් මට සිදු වී ඇත. මගේ පූරුවේ පිණකටදෝ කොහෙද මට ඉහුම් පිහුම් ගැන යන්තම් යමක් කමක් කර ගැනීමට පිළිවන්ව තිබුනි. ඉහුම් පිහුම් යනු 99.99%ක්ම කාන්තාවන්ගේ ක්‍රියාවක් ලෙස මා අදහන දෙයකි. මෙය බොහෝ පිරිමිද අදහන්නකි. එසේ වන්නේ පිරිමින්ට මෙම කාර්යය නොහැකි නිසා නොව පිරිමි උයන වැඩට කම්ම්ලි නිසාය. :)

පිංතූරේ ගත්තේ මෙතනින්.



ඉතින් ඔන්න කොහොම කොහොම හරි මොනවහරි එළවලු ටිකක් තම්බ ගන්නවා. ලුනු මිරිස් ඔක්කොම මගේ පදමට තමා. අනේ මන්දා! එයාට ගානක් නෑ. මොකද වමනේ යන හින්දා කන්න බෑ. රස දැනෙන්නේ නෑ හරියට. සමහර වෙලාවට තවත් ටිකක් මිරිස් එහෙම වැඩි කරලා එයා හොඳයි කියනවා. මට නම් ඒකේ වැඩි වෙනසක් නෑ. "අක්බාර්" එකේ අපි කාපු ජරාව එක්ක ඕනෑම එකක් ඔට්ටුයි.

ඔන්න ඉතින් මම යනවා ඔෆිස් එකට. ගියාට මොකද මගෙ හිත නම් ගෙදරම නවතිනවා. ගිය වෙලාවෙ ඉඳලම මට හිතෙන්නෙම "අරය කෑවද දන්නේ නෑ, ආයෙත් වමනේ ගියාද දන්නේ නෑ, නිදිද දන්නෙත් නෑ..." වගේ අදහස් ගොන්නක්. මහා බරක් වගේ දැනෙනවා. පුලුවන් වෙලාවක් ආවොත් මම ඉතින් කෝල් එකක් නොදී ඉන්නේ නෑ මොනවා උනාද කියලා බලන්න. සමහර වෙලාවට දවල්ට කාලා නැතිව නිදි. සමහර වෙලාවට වමනේ ගිහින් ආයෙත්. අල්ලපු ගෙදර අක්කා තමා මොනවට හරි දුවගෙන එන්න ඉන්නේ. ඒක යාන්තම් මට අස්වැසිල්ලක් උනා.

මම හරියටම 5යි බිංදුවට ඔෆිස් එකෙන් පිට වෙනවා. රුන් ගාලා ගෙදර එනවා. මගදී පළතුරු මොනවා හරි ගන්නම් අමතක වෙන්නේම නෑ. ඔය අතරතුරේ අපේ අම්ම ආවා හරියට නිකන් කාන්තාරෙට වැස්ස වගේ. අම්මා ඉන්න හින්දා දැන් උයන පිහන වැඩේනම් ගොඩ. ඒත් එයාට වමනේ යන එක... හපොයි ඒක නන්ස්ටොප් එකේ යනවා. පස්සේ දවසක අපි ගියා ඩොක්ව හම්බ වෙන්න. ගිහින් කිව්ව මෙයාට වමනේ යනවා කියලා.

"ඒක හොඳයිනේ. වමනේ යන අයගේ ඇබොර්ට් වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩුයි. ඒක හින්දා බය වෙන්න එපා. තව ගොඩාක් ගියොත් අපි බේතක් බොමු". කියලා ඩොක් කීවම එයාට ෆිට්.
ඒත් අම්මෝ වමනේ යන හැටි දැක්කම මටනම් බය නොහිතුනාම නොවෙයි. කන්නත් බෑ. බොන්නත් බෑ. ඒත් වමනේ නවතින්නෙත් නෑ. බය හිතෙන්නේ නැත්තේ මොකාටද ඉතින්. අපේ අම්මනම් කිව්වා ඕක සාමාන්‍ය දෙයක් කියලා. අපි කෝකටත් කියලා ඩොකා හමබ වෙන්න ගියා.

ආ... කියන්න අමතක උනානේ... මෙන්න මෙයාට එක පාරම අමු දිවුල් කන්න හිතුනනේ. මම මාර්කට් එක පීරල අමු දිවුල් හෙව්වා. සමහර එව්වා අමු වගේ පෙනුනට පලපුවාම ඉදිලා. මොනවා කරන්නද ආයෙත් ගිහින් හොයනවා. මන් හිතන්නේ ඒකට තමා "දොලදුක" කියන්නේ. මොන දුක හරි මං එපෑ දුවන්න. හඃ හඃ හා... දවසක් මාර වැදක් උනනේ. මෙයයි අපෙ අම්මයි ගියා බඩු ගේන්න පිළියන්දල. ගිහිල්ලා හොඳ අමු දිවුල් ගෙඩි 2කුත් හොයගෙන ඉඳලා. මෙයාලට මේ දිවුල් මල්ල අමතක වෙලා ඇවිල්ලා ෆුඩ් සිටි එකේ. ගෙදර ආවහම තමා ඒක මතක් වෙලා තියෙන්නේ. "අනේ අපේ අර මල්ල, ඒක අර ෆුඩ් සිටි එකේ බැරිවෙලා ඇවිල්ලා. ගිහිල්ලා ගේනවද?" "මං හවස යන්නම්" කිව්වා විතරයි මෙන්න මූණ නිකන් සතපහ කර ගෙන ඉන්නවා. අපේ අම්මත් ඒක දැකලා කිව්වා මට යන්න කියලා. මටත් දුක හිතුනා ඒ මූණ දැකලා. මං සටස් ගාලා ගිහින් ඒක ගෙනාවා. අමු දිවුල් ගෙනාවා විතරයි මෙන්න මෙයා ඒක පලාගෙන රහ කර කර කෑවා. මට හරිම පුදුමයි. බලමුකෝ ඒකෙත් හැටි නේද?

ඔන්න ඔය විදියට නොවැම්බර් මාසේත් ගෙවීගෙන ගියා.

December 22, 2009

මී රැජිණගේ මල් වත්ත - 1

මෙම පිංතූර මා විසින් මගේ බිරිඳගේ මල් වත්තෙන් ගත් ඒවාය. ඇය බොහෝ විට ආසා කරන්නේ රෝස වර්ගයේ මල් වලටය. එම නිසා මෙහි එන බොහොමයක් ඒවා රෝස මල්වල පිංතූර වේ. මේවා මෙහි පල කිරීමට මා විසින් ඇයගෙන් අවසර ගෙන නැත. මෙය මල් ගල් කිරීමකි.


කැමරා වර්ගය - Sony Cyber-shot DSC-H7














December 21, 2009

සිහි කෙරුවා නුඹෙ උනුහුමේ තිබුන බලේ

හිම ගුලි එක එක පොඩි කරලා
ලස්සන බෝලයක් වගේ වෙලා
අත්දෙක එහෙට මෙහෙට කරකවලා
විසි කෙරුවා බෝලය කන්දට දමලා

හිතුනත් බෝලය ආපහු එයි කියලා
ආවේ නෑ එය යලි පෙරලීලා
හෙව්වත් බෝලය හිමතුල කිමිදීලා
ඒ බෝලය සැඟවුනා මා පරදාලා

හිම කතරේ මා තනිවම සිටි ඒ වේලේ
සිහියට ආවේ නුඹෙ රුවමයි හිතට බොලේ
නුඹ නැති අඩුපාඩුව මට දැනුන වෙලේ
සිහි කෙරුවා නුඹෙ උනුහුමේ තිබුන බලේ

නෝර්වේ ගමන

අපි ඔස්ලෝ ගුවන් තොටුපලින් එලියට ඇවිත් ෆ්ලීටොග් නැමැති දුම් රියකින් ඇස්කර් වෙත ගමන් ඇරඹුවා. ගමන් මහන්සිය හින්දා මට දුම් රිය තුලම නින්ද ගියා. සිසිරයේ තද සීතලත් එක්කම් හිම වැටෙන්න අරගෙන. අපි ඔස්ලො නගරයට එනකොට අපේ උසට වැඩිය උසට හිම විටිලා තිබ්බා. ඒත් එක්කම තද සුළං රැල්ලකුත් යනවා ඇඟේ හිරිගඩු පුප්පාගෙන. හිම කබාය හින්දා එච්චර සීතල දැනෙන්නේ නෑ, ඒ උනාට අත් දෙක ළඟිනුයි හා බෙල්ල ළඟිනුයි සීතල කිඳා බහිනවා ඇඟ ඇතුලටම. අත් මේස් දෙක මේ තද සීතලට ඔරොත්තු දෙන පාටක් නෑ වගෙයි. හිම තොප්පියනම් නියමයි. එකෙන් කන්දෙකත් එක්කම වැහෙනවා. ඒ හින්දා සීතල පොඩ්ඩක් මග ඇරෙනවා. ඩෙනිම කපාගෙන සීතල සුලං කකුල වෙලා ගත්තත් ඒකේ තරම තදින්ම දැනෙන්නේ නෑ අපි ඇවිදගෙන යනකොට. හැබැයි මගේ හිම සපත්තු දෙකනම් හරිම අගෙයි. ඒ දෙක ඇතුලේ තියෙන පිහාටු වර්ගයේ ලොම් නිසා සීතල පොඩ්ඩක්වත් එන්නේ නෑ. වතුර ඇතුලට එන්නෙත් නැති හින්දා කකුල් දෙකනම් හොඳටම හරිස්සම් වෙනවා. මේ කොහොම උනත් අමාරුම දේ උනේනම් සීතලම නෙමෙයි. හිරු කිරනින් වඩාත් සුදු පැහැවී දිලිසෙන සුදෝ සුදු හිමවල සුදු පැහැයයි. මා කිසිම දිනයක හිම නොදැක තිබූ බැවිනුත් මෙවැනි සුදු පැහැ ආලෝකයක් නොදැක සිටි බැවිනුත් මේ සුදු ආලෝකය මා හට අමුතුම අත්දැකීමක් උනා. ඇස් දෙක එල එල්ලේ ඇරලා බලන්න බෑ. හරියට මහ දවල්ට ඉර් දිහා බලවා වගේ. අපි ඇස් දෙක පුංචි කරලා හොරෙන් වගේ එලිය බලනවා. අම්මෝ! බෑ බෑ ඉවසන්න බෑ ඒ සුදු පාට.. අයෙත් ඇස් වහ ගන්නවා. කොහොම හරි ටික වෙලාවකින් ඇස් දෙක ටික වෙලාවකින් පොඩ්ඩක් හරියනවා. හිරු කන්නාඩියක් තිබුනානම් හොඳයි, ඒත් මම කොහොමද ඒක දාන්නේ, දැනටමත් සාමාන්‍ය එකක් දාගෙන ඉන්නකොට.
















සුදෝ සුදුයයි කියනු
අසා ඇත්තෙමි
හිමකැට
සත්තකයි
මම දැක නැත්තෙමි
මීට පෙර මෙවැනි සුදක්
කෙතරම් සුදුද
කිවහොත් දෑස නිලංකාරයි
හොරෙන් බැලුවෙමි
දෑස් අඩවන් කොට
එයමද අසීරුය
එක එල්ලේ බලා සිටීමට
මද්දහනට
හිරු දෙස බැලූ
එකකු ලෙසින්
අන්ද මන්ද වූයෙමි



සිසිරය ඉවර නෑ තාමත් උතුරු යුරෝපයට



හිම මෙන් සුදුයැයි සමහරු කියන්නේ
හිම දැක නැති ඔය බොලන්නේ
දැක්කොත් හෙම හිම දිලෙන්නේ
දෑස නිලංකාරවුනා යැයි කියන්නේ

මද්දහනට බැලුවොත් ඉර දිහා කෙලින්නේ
අන්ධ බිංදුවට ආලෝකය දුවන්නේ
ඒකයි අපිට මොනවත් නොපෙනෙන්නේ
බොහෝ දෙනෙක් ඒ බව අද නොදන්නේ

දැන උන්නත් අපි මොනවද කරන්නේ
ඒකට තමා සොබා දහම කියන්නේ
ඔව්වට අවනත නොවන බොලන්නේ
බලාගෙනයි උඹ වැඩිදුර නොයන්නේ

අපි ආවා 'වයිකින්' වරුන්ගේ නගරයකට
සිසිරය ඉවර නෑ තාමත් උතුරු යුරෝපයට
හිම කැට වැටෙනවා එකපිට එක දිගට
බලා ඉන්න බෑ ලස්සන ඇස් දෙකට

ලස්ස්න තිබුනත් ඉවසනු බැරි තරමකට
සීතල දෙවැනි නෑ ඒ ලස්සනට
උෂ්ණත්වය ගිහින් සෘණ අගයකට
සීත කබා ඕනෑමයි මේ සීතලට

කන්දෙක ඔලුව වැහුනත් මගේ තොප්පියට
මුහුන වහන්නේ කොහොමද ඒ ලෙසට
කම්මුල් අස්සෙන් රිංගපු ඒ තද හීතලට
හිරිගඩු පිපුනනේ උනුහුම රැක ගන්නට

හිම සපත්තු නියමයි මේ හීතලට
ඇතුලේ කුරුළු පිහාටුයි එක දිගට
යන්නෙම නෑ වතුර උනත් මෙය තුලට
සීතල ගානක් නෑ මගෙ දෙපතුලට

December 18, 2009

ඇල්ලුවට කමක් නෑ


නංගියේ බලාගෙන අද නම් හරියට ලිස්සනවා. ඔය ඔය


හරි හරි අයියේ
මම ඔයාගේ පස්සෙන්ම එන්නම් මම ඔයාගේ වලිගෙ අල්ලාගෙනනේ ඉන්නේ


ඇල්ලුවට කමක් නෑ හැබැයි අදින්න බෑහරිද?










මාත් ධාරාණිපාතත්....



මගේ බිරිඳගේ මව ගුරු උපදේශකවරික් ලෙසින් කටයුතු කරන්නීය. ඇය දිනක් පැවසූ සිද්ධියක් ඇසුරෙන් මෙය ලියන්නෙමි. ඇය බොහෝ අවස්ථාවලදී කලාප ප්‍රශ්න පත්තර සෑදීමට මෙන්ම උත්තර පත්‍ර පරීක්ෂාවටද යන්නීය. මෙලෙස දිනක් ඇය උත්තර පත්‍ර පරීක්ෂාවට ගොස් ගෙදර එමින් සිටියාය. ඇගේ තව එක් මිතුරියක්ද එලෙසම උත්තර පත්‍ර පරීක්ෂාවට ගොස් එමින් සිටියාය.


"ආ... පේමා මිස්... ගෙදර යන්න..."
"ආ... ඔව් අනේ... අද හරිම මහන්සියි. මේ උත්තර පත්‍ර බැලිල්ල හින්දා.... දන්නේ නැද්ද ඉතින්..."
"බස් එකට තවම වෙලා තියෙනවා නේද? හපොයි.. මේ රස්නේ... ඉන්න බෑ..."
"හපෝ.. ඔව් ඔව්... මේ දවස්වල පෑවිල්ල... "
"ඒක නෙමයි මිස්. කොහොමද පොඩි උන්? දැන් කැම්පස් ඉවරද?"
"තාම නෑනේ... මේ අර අක්කගේ ළමයි ගෙදර ඇවිල්ලනේ... එයාලත් එක්කමයි. මේ දවස්වල වැකේෂන්ලු."
"අක්ක කිව්වේ..."
"අපේ අක්කගේ දුවලා. එයාගේ දුව මේ සැරේ සිස්සත්වේ ලියනවනේ. මෙහේ ඇවිල්ලා දවස් දෙක තුනකට..."
"හ..හා... මිස්ට කියන්න... මට හිනා ගියා පහේ ළමයෙක් ලියලා තිබ්බ එකක් මතක් වෙලා."
"ඒ මොකද්ද මිස්?"
"නෑ නෑ... රචනාවක් ලියන්න තිබුණා එක ප්‍රශ්ණ පත්තරේක, 'ධාරාණිපාත වැස්සකට මැදි වී' කියලා."
"ඉතින් ඉතින්.."
"එක ළමයෙක් ලියලා තිබ්බා මෙහෙම." කියමින් රචනාව විස්තර කළාය.



"දිනක් මම ධාරාණිපාතත් සමග ගමනක් ගියෙමි. අහස කළු කරගෙන ආවා. මහා වැස්සක් ආවා. මම ඉක්මනට අසල වූ ගසක් යටට ගියෙමි. ධාරාණිපාතට එතැන ඉඩ නැති නිසා වැස්සට මැදී විය....."


මෙය කියවන ඔබට හිනා නැගෙනු නොඅනුමානය. ප්‍රථම වතාවට මාද මෙම කතාවට සෑහෙන වේලාවක් සිනා සුනෙමි. නමුත් පසුව මා සිතන්නට වූයේ ඒ ළමයා කෙතරම් විශිෂ්ඨද යන්න ගැනය. ඔහු ධාරාණිපාත යන වචනයේ තේරුම තබා එම වචනයද මීට ප්‍රථම අසා නැතිබව සක්සුදක් සේ පැහැදිළිය. එය වැස්සට යෙදූ උපසර්ගයක් නොහොත් වැස්සේ තරම කෙතරම්ද යන්නට යෙදූ වචනයක් බව ඔහුට නොසිතෙන්නට ඇත. නමුත් ඔහුට රචනාවක් ලිය යුතුව ඇත. නැත්නම් ලකුණු අඩු වන්නේය. එමනිසා ඔහු ලියන්නට පටන් ගත්තේය.


"මොනා ලියන්ටද?... අහා!... මේ කියන්නේ ධාරාණිපාත‍යා ගැන නේද? මම එකක් ලියලා තියෙනවනේ 'මමයි නංගියි වැස්සකට අසු වී' කියලා එකක්. මේකත් එහෙමම ලියනවා."


දැන් බලන්න මේ ළමයාගේ අපූරු මනස. ඔහු මීට පෙර ලියා තිබූ රචනාවක් ගෙන එහි උක්තයන් මාරු කොට නව නිර්මාණයක් ඉදිරිපත් කරයි. එක් අතෙකින් ඔහුගේ නොදැනුවත් කම එළිවෙන විට අනිත් දෙසින් ඔහුගේ නිර්මාණශීලීත්වය එළිවන්නේය. නමුත් අප බොහෝ දෙනා අර අනුවණකම ලඟින් නවතිති. මෙය අප කතා කලයුතු මාතෘකාවකි. ඇයි අපට මෙම ඉතිරි 10% හෝ 50% හෝ කීය හෝ නොපෙනෙන්නෙ?. ක්‍රියාවක් නුවනින් විමසන්නේ ඉතා අල්ප දෙනෙකි. එම නිසා අද සිටවත් ක්‍රියාවක් දුටුවිට අන් අයුරින්ම එයට ප්‍රතිචාර දක්වා පසුව මොහොතක් සිතන්න.



December 15, 2009

රෝද දෙක - වම් කණ


රෝද දෙක කියලා කියලා කියපු ගමන් සිතට එන්නේ අපේ "පුස්" හෝ "පුට්" බයිසිකලේය ( සමහරු "පුටාර්" කියාද කියනු මා අසා ඇත්තෙමි ). නමුත් කරත්තයටද ඇත්තේ රෝද දෙකකි. නමුත් මා ලියන්නට යන්නේ මොටර් බයිසිකලයක් ගැනය. බොහෝ දෙනා "බයික්" එක කියා මෙය හඳුන්වති. මෙය කාගේවත් නොව මගේම රෝද දෙක ගැන ලියවුනු කතාවකි. ඉස්සරලාම කියන්නම්කො මොකද්ද ඒකේ ජාතිය කියලා. "බජාජ්" පවුලේ "පල්සර් 180" වර්ගයේ රතු පැහැ මගේ මෝටාර් එක මම මිළදී ගත්තේ මීට වසර 3 කට කලින්ය. දැන් ඒකේ ඉස්සරහ "වම් කණ" කැඩිලා එල්ලිලා තියෙන්නේය. ඒ උනාට කන් හතරෙන්ම හොඳින්ම එළිය පත්තුවෙන්නේය. උගේ වම් කණ කැඩුනේ මගේ එක් වීර ක්‍රියාවක දායාදය ලෙසටය.


ඒ කෙසේද යත්:

දැනට මාස කිහිපයකට ඉහතදී මට ගම්පහට යෑමට සිදු විය. එසේ ගොස් නැවත පැමිණෙන විට වේලාව රාත්‍රී 11 ට පමණ වී තිබුනේය. මම නුවර පාර දිගේ ඇවිල්ල කැළණි පාලම පහු කරලා අස්සෙන් අස්සෙන් දාලා ආවා "බේස් ලයින්" එකට. දන්නවනේ ඉතින් "බේස් ලයින්" එක ගැන. කාකි ඇඳුම් නැත්නම් ඉතිං 100 තමා.

ඔන්න දැන් මං එනවා ඕක දිගේ වැඩි වේගයකුත් නෑ 60 ට විතර ඇති. එකපාරම කබ්බෙක් ගියා මාව "ඕවර් ටේක්" කරගෙන මගෙ කණ ගාවින්ම. ඔන්න කොල්ල "ෆෝම්" උනා. ඉතින් ඉන්න බෑ... ගත්තා අඩු ගියර් එකකට දාලා රේස් කරලා... ම්... ම්... බ්‍රෑම්... දැන් කොල්ලට පේනවා අරූ යනවා ලඟින්ම. ඌට තේරුනා මම "ගේමට" කියලා. මෙන්න ඌත් "පිකප්" කරන්න ගත්තා. මං යාන්තමට දැක්කා උගේ මෝටාර් එක 150 ඇන්ජිමක්.

ඉතින් මම දුන්නා උපරිමය...
යමං පුතා කියලා...

මෙන්න දැන් යනවා දෙන්නම සුං ගාලා. මට මීටරේ දිහා බලන්න ඕනැ උනත් මොන මීටර්ද... "කිසි කිසි" ගාලා යනවා මෝටාර් දෙක. දැන් අපි ඉන්නේ "බේස් ලයින්" එකේ අන්තිම "කලර් ලයිට්" එක ගාව. මෙතන හෙන වංගුවක් තියෙනවනේ. මට ඒක මතක තිබුනා. ඒත් අර බුවාට ඒකේ ගානක් නැති පාටයි. මමයි අර බුවයි දැන් කරට කර. මං දන්නවා තව මොහොතෙන් මම ඌට දෙනවා බැටේ.

ඔය අස්සෙම මම දැක්කා මොක්ද්දෝ කලු ගුලියක් පාර මැද තියෙනවා වගේ. කෝකටත් කියලා මම පොඩ්ඩක් "ඇක්ස්සලරේටර" අඩු කලා. හුටා... මෙන්න පොරක් කරුවලේම පාර පනිනවා. අපි දෙන්නම දුන්නා නලා පාරක් මෑන්ස්ට... මෑන්ස්ට මොකුත් හිතාගන්න බැරුව ගල්වෙලා වගේ පාර මැද හිට ගනිපි. මොන මගුලක්ද කියමින් මම ගත්තා මෑන්ස්ගේ ලඟින්ම කපලා. හපොයි.... චටස් කියලා මොකද්ද වදිනවා වගේ දැනුනා... මගේ වම් කකුල නිකං පිච්චුනා වගේ දැනුනා. "හැඬල්" එක "කන්ට්‍රෝල්" නැතිව ගියා.

මමයි අර බුවයි දැන් කරට කර. මං දන්නවා තව මොහොතෙන් මම ඌට දෙනවා බැටේ. ඔය අස්සෙම මම දැක්කා මොක්ද්දෝ කලු ගුලියක් පාර මැද තියෙනවා වගේ. කෝකටත් කියලා මම පොඩ්ඩක් "ඇක්ස්සලරේටර" අඩු කලා.

හුටා... මෙන්න පොරක් කරුවලේම පාර පනිනවා. අපි දෙන්නම දුන්නා නලා පාරක් මෑන්ස්ට... මෑන්ස්ට මොකුත් හිතාගන්න බැරුව ගල්වෙලා වගේ පාර මැද හිට ගනිපි. මොන මගුලක්ද කියමින් මම ගත්තා මෑන්ස්ගේ ලඟින්ම කපලා. හපොයි.... චටස් කියලා මොකද්ද වදිනවා වගේ දැනුනා... මගේ වම් කකුල නිකං පිච්චුනා වගේ දැනුනා. "හැඬල්" එක "කන්ට්‍රෝල්" නැතිව ගියා. දැං මෝටාර් එක යනවා දෙපැත්තට පැද්දි පැද්දී. මම "බ්‍රේක්" ගැහුවා උපරිමයෙන්. මොන "බ්‍රේක්" ද? පිටි පස්සේ රෝදෙ හිරවුනා. දැන්නම් බඩු "ෂුවර්" මං ඉවරයි. ඕනැ එකක් කියලා මම හයියෙන් අල්ල ගත්තා හැඬල් එක. ඔහොම තප්පරයක් විතර යන්න ඇති මයෙ හිතේ.
මට "බ්‍රේක් එක" අතඇරුනා. මගේ වෙලාවට එහෙම උනේ. නැත්තම් ඉතිං බඩුම තමා. මීළඟ තප්පරේ මට පොඩ්ඩක් "කන්ට්‍රොල්" එක ආවා. මම හිමීට පාරේ අයිනට කරලා නැවැත්තුවා. අර බුවා පේන්නත් නෑ.. මං හිතන්නේ මිනිහා ගෙදරම යන්න ඇති. මම බැලුවා මොකද උනේ කියලා. මගේ දණිහ ළඟ පොඩ්ඩක් දනවා වගේ හින්දා බැලුවා.

අප්පට සිරි! කකුල පැලිලා නේද? මෙන්න බොලේ ලේ ගලනවා. මං හැරිලා බැලුවා අර පාර මැද හිටපු මෑන්ස් දිහා. කවුරුවත් පේන්න හිටියේ නෑ. මම විතරයි පාරේ තනියම. මොනවා කරන්නද? කැක්කුම ඉන්න බෑ. ඕනැ එකක් මම මෙහෙමම යනවා කියලා හිතලා ගෙදරට පැද්දා. ගෙදර ඇවිල්ල බේත් දාගෙන පහුවදා මම මෝටාර් එක බලනකොට තමා දැක්කේ ඒකේ ඉස්සරහා වම් කන කැඩිලා තියෙනවා.

ඒත් එක්කම මට මතක් උනා ඊයේ රෑ වෙච්ච "සීන්" එක. මගෙ ඇඟේ හිරිගඩු පිපුනා ඒකට. බුදු අම්මෝ...! මං හිතාගත්තා අයේනම් රේස් යන්නේ නෑ ( රෑට ) කියලා.
ඔන්න ඔහොමයි උගේ වම් කණ කැඩුනේ.

මගේ තුවාලය හොඳ උනත් තවම උගේ වම් කණ කැඩිලාය. මගේ "මීටර්" එක 60 පනින විට මට ඔය කැඩිච්ච කණ පෙනුනොත් නිකම්ම වේගය අඩු වෙන්නේය. ඒ නිසාම මමද එය පිලිසතර නොකර තබා ගන්නට උත්සුක වන්නෙම්. (මුදල් අඩුපාඩුවක් නිසා නොව හඃ හඃ හා... )


December 14, 2009

පවසන්න...

පවසන්න එකම එක
ආදර වදනක්
සුවපත් වෙවි
මුළු ජීවිතයම මගේ
පාළුවෙන් දැවුනු
තනිකමෙන් තෙමුනු

ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා - විචාරය

ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
අද මට නොදැනිම මගේ දෙනෙතට කඳුළු පිරෙනවා
පිපි මලක් එලෙස මහා වන මැද පරවී යනවා
ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා

දුක සෝකය මාහට නම් පුරුදුයි හැමදාම
ආදර වදනින් මාහද පෙලුවේ ඇයි මෙලෙස
සමුගන්නට නම් අහිමි වූ ආදරයෙන් මෙලෙස
ඉවසම්ද මා කෙසේ සොඳුරියේ මේ දුක කෙලෙස

මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක
ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදාම
ආදරයක ඇති වේදනාව දැනෙනවු දාක
සිහිවෙයිද මගේ සොඳුරියේ බිඳුවක් යලි මතක

- චන්ද්‍රසේන හෙට්ටිආරච්චි -

වස්සානය, ගිම්හානය සරත් හා සිසිරය යන සෘතු හතරට අමතරව ආදරයද ලොව වෙනස් සාධකයක්ය. එලෙසම මෙම සෘතු හතරට සමානවම පෙම්වතාගේ ජීවිතයද ගෙවී යන්නේය. වස්සානයේදී හමුවන ඇය සිසිරය සමගම යන්නට යයි. පෙම්වතිය පලායන්නට සැරසෙන මොහොතේ පෙම්වතාට එය දැනෙන්නේ ඔහුගේ මුළු ලෝකයම බිඳ වැටුනා ලෙසය. මෙන්න මෙවැනි ඉතාමත් දුක්බර මොහොතකදී ගැටගැහුනු වදන් පෙලක් ගීතයකට නැගුනු අයුරුන් මට මෙම කවි පෙල හැඳින්විය හැකිය.

සුනිමල්ගේ පියා ඔහුට අහිමිවූයේ ඔහු කුඩා අවධියේදීමය. අම්මා සමග ඉතා දුක්බර දිවියක් ගතකල සුනිමල් ජීවිතය ගැටගහත්තේ ගඟේ ඔරු පැදීමෙන් හම්බකරගත් සොච්චමෙනි. කොතරම් දුප්පත්වුවත් ඔහු සිතිවිලිවලින් පෝසතෙකි. සැම පෝයකටම පන්සල් යන ඔහු ජීවත්වූයේ ගමේ කිසිවකුට කරදරයක් නොවන පරිද්දෙන් සතුටින්ය. මේ කාලයේදීම ඔහුට ගමේ පාසලට ආ අලුත් ගුරුවරියක්වන නන්දාව මුනගැසෙන්නේය. ඇයට සිත් බැඳ ගන්නා සුනිමල් එය නොපවසන්නේ ඇය තමාට වඩා උගත් වැදගත් තැනැත්තියක්වීම නිසාය. කෙසේ හෝ නන්දාටද සුනිමල් කෙරේ ආදරයක් ඉපදී දෙදෙනා ආදරයෙන් එක් වන්නේ නන්දාගේ බලපෑම නිසාමය. සති අන්තයේ සුනිමල් නන්දා කැටුව ගඟේ උඩහට ඔරු පැද ඇයට කිසිදා නොදුටු සිත්තම් වෙන්වන්නට විය. මෙලෙස සුනිමල්ගේ වසන්න කාලය ගෙවෙන්නේය.



මේ අතරතුරේ ගමේ පාසලට අලුත් ගුරුවරයෙකුවන වසන්නතද පැමිනෙන්නේය. සුනිමල්ගේ වස්සයානය ගෙවී ඉවර වෙන්නට ආසන්නබව ඔහු දැන ඉන්නනට නැත. නන්දාගේ සිත කෙමෙන් සුනිමල් වෙතින් වසන්නත වෙතට ඇදෙන්නේ නන්දාටද හොරෙන්මය. සැමදා පාසල්යාමට පෙර ගං ඉවුරට ගොස් සුනිමල්ට අතවනා යන නන්දාට එය කෙමෙන් අමතක වන්නේය. සති අන්තවල ගඟදිගේ ඉහලට යෑමට ඇයගේ දැන් වැඩි මනාපයක් නැත්තේය. නනදාගේ මෙම වෙනස සුනිමල්ට තදින්ම දැනෙන්නට විය. එක් දිනයකදී නන්දා සමග ඔරුව පදිනා අතර මෙලෙස ගයන්නට විය.


ඔයාට මාව දැන් එපා වේගෙන නේද එන්නේ? ටික කාලෙක ඉඳලා මට එහෙම දැනුනා.

අනේ එහෙම එකක් නෑ. ඔයාගේ විකාර.

ඔයාට මතකද අපි ඉස්සරලම හමබවෙච්ච දවස?

අනේ මට හරියට මතක නෑනේ, අර සල්පිල දවසෙදිද කොහෙද නේද?

නෑ අනේ, ඔයා අම්මත් එක්ක පන්සල් ආපු දවස අර පෝය දා පන්සලේ පිංකමක් තිබුනේ…

අහ්! මතක් උනා, මොකෝ මේ එකපාරම…

නෑ නෑ නිකං… මට එව්වා මතක් වෙනකොට හරිම ආසයි.

අපි කොච්චර ආදාරයෙන්ද හිට්යේ?

හිටියේ කියන්නේ දැන් ඔයාට මාව එපාවෙලා නේද? මට හිතුනා. ඔයා ඕන බම්බුවක් කරගන්න. මීට පස්සෙ මාත් එක්ක කතා නොකලට කමක් නෑ..

කියමින් නන්දා ඔරුවෙන් පිටව යන්නේ සුනිමල් ගැන අබමල් රේනුවක් තරම්වත් නොසිතාය.

මෙය සිදුවන්නට යනබව දැනසිටි සුනිමල් මෙලෙස කියන්නේය. “ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා…” සුනිමල්හට දුක ශෝකය යන්න කුමක්ද කියා අමුතුවෙන් කියා දිය යුතු නැත. නමුත් මෙම වේදනාව ඒ සියල්ල්ටම වඩා වැඩි බවත් එය කෙලෙස ඉවසා සිටිමිද කියාද මීළඟට නන්දාගෙන් මෙසේ අසයි. “දුක සෝකය මාහට නම් පුරුදුයි හැමදාම… ඉවසම්ද මා කෙසේ සොඳුරියේ මේ දුක කෙලෙස”

නමුත් සුනිමල් සිය මුළු හදවතින්ම නන්දාට ආදරය කලේය. එමනිසා ඔහු පත්න්නේ ඇයගේ සුඛවිහරනයයි. කිසිදු අහිතක් නොසිතන සුනිමල් ඔහුගේ දුක වේදනාව හා අමිල ආදරය ඇයට කිසියම් දවසක ආදරයේ වේදනාව දැනුනුහොත් එදවස හෝ සිහි වේවිද කියා ඇයෙගෙන් මෙලෙස විමසා සිටියි.. ” මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක… සිහිවෙයිද මගේ සොඳුරියේ බිඳුවක් යලි මතක”

December 11, 2009

අද ෆොෂ් යනු කිම?


"ෆොෂ් යනු කිම" යන්න ගැන ලියන්න පටන් ගන්නකොටම මට මතක් වෙන්නේ "බය යනු කිම" කියලා අපේ සිංහල පාඩම් පොතේ තිබ්බ පාඩමක්. ඒ වෙන කිසිවක් නිසා නොව ඒ කතාවේ එන පොඩි කොලුවට බය මොනවගේද කියලා තේරුම්ගන්න අසීරු තරම්ම මටත් මේ ෆොෂ් කියන එක තේරෙන්නේ නැති හින්දාය. මට ෆොෂ් කියන එක තේරෙන්නේ නැති හින්දම මම කැමතියි ඒක ගැන ලියන්න. මේ පෝස්ට් එක කියවලා මට දෙස් තියන්න ගනිවි හැට හුට හමාරට. කමක් නෑ, ලියන්න ගත්ත එක ලියලම ඉන්නම්කෝ.

ඔන්න එනවා එක "ලේඩි" කෙනෙක් (එයා කාන්තාවක් නම් නෙමෙයි ), කොන්ඩේ පොඩ්ඩක් "කලර්" කරලා (අපි කියන්නේ ඩයි කරලා කියලාය) පට්ට තද කොටම කොට කලුපාට පුංචි ස්කර්ට් එකක් (සාය කොටයක්) හිරට හිරේ අමාරුවෙන් ඇඳගෙන (කොටට කොටේ කොට සායක් හැටට හැටේ ඇඳගෙන මං කියල පදවැලකුත් තියෙනවා නේද?). එයාගේ "බ්ලවුස්" එක ගොඩාක් "ලූස්" එකක්. ඒක කරෙන් පහලට වැටෙනවා නිකම්ම, එක උරයකින් ඒක පැත්තට පැනලා එයාගේ දම්පාට ම්..ම්..ම්.. මොකද්ද ඒකට කියන්නේ, ආන්න ඒ යට ඇඳුමත් පේනවා. ඔන්න එයා එක අතක මොබ් එකද අනිත් අතේ විවිධ පාට තියෙන මලු කීපයකුත් එල්ලාගෙන පාර අයිනේ තියෙන බස් නැවතුමට ආවා. ඇවිල්ලා පොඩ්ඩක් "බිසී" වගේ වටපිට බලලා මොනවදෝ මුමුණනවා තනියම. තනියම කිව්වට තනියමම නෙමේ, මේ කියවන්නේ මොබ් එකේ, දුරකතනයේ අනිත් කෙලවර ඉන්න කෙනත් එක්කයි. අපි හරියටම දන්නේ නෑ එහා පැත්තේ කවුරුහරි ඉන්නවද නැද්ද කියලත් ඔන්න. ඒ උනාට එකක්නම් පැහැදිලියි. එයාට සිංහල ටිකක් අමාරුයි කථා කරන්න. අමාරුවෙන් තමා "ස්පෙල්" කලේ මේ ගොඩේ සිංහල වචන ටික..

බස් එක එන්න ටික වෙලාවක් ගිය හින්දා එක අතකින් අනිත් අතට අර මලුටිකත් මාරු කරනවා. එක මල්ලකින් ටිෂු එකක් අරගෙන බෙල්ල වටේ පිහදාලා විසි කරනවා ඊට පස්සේ. අඃ කියන්න අමතක උනානේ එයාගේ උල් සපත්තු දෙක, බුදු අම්මෝ ඒක ඇනුනොත්නම් ඉතින් වැසිකිලියක් හොයගන්න වෙයි ඉක්මනටම. ඒ තරමට උල් වෙලා තිබ්බේ එකේ "කෝනර්" එකක්. අනික ඒක දැම්මාම අඟල් 4ක් 5ක් විතර උඩින් තමා ගමන. ඔන්න ඔහොම ඉන්නකොට ආවා අපේ සුපුරුදු බස් එක. දඩ බඩ ගාලා අපි නැග්ගා සීට් එකක් තිබ්බොත් අල්ල ගන්න කියලා, ඒත් වැඩක් උනේ නෑ. ඔය අස්සේ අර "ලේඩි" කෙනත් නැගගා. බස් එක් සැරදාලා යන්න ගත්තා. කොන්දා ආවා සෙනග අස්සෙන්, ඇවිල්ලා "ටිකට් ගන්න, ටිකට් ගන්න, ඔය මහත්ත්තයා, නෝනා.. ඈ... හරි හරී..." කියලා කෑගන්න උනා. අර නෝනා මූන බෙරිකරගෙන මහ අප්පිරියාවෙන් කොන්දා ගිහා බලාගෙන හිටියා. අන්තිමට නෝනාගේ වාරේ ටිකට් ගන්න. "මට ගෝ එකක් දෙන්න" කිව්වා. කොන්දා "කොහෙද නෝනා?" කියලා බෙරිහන් දුන්නා. "අනේ මේ.. මට ගෝ එකාක්.. දෙන්න" නෝනා එහෙම කිව්වාම කොන්දට තේරුනා මේ "ගෝර්" කියන්නේ ගාල්ලට කියලා. පොඩ්ඩක් සිංහල අමාරු ඇති කියලා මෑන්ස්ටත් හිතෙන්න ඇති. "ඌප්ස්! සෝර් මෙයා, මේ බර්ස් හරීම කෙයාලස් විදියට ඩ්‍රයිව් කරනා හින්දා මට හරියද කන්ට්‍රෝල් නෑ" කියමින් ඇය එතන සිටි එක් යුවතියකට ඇගේ මලු කිහිපයක් දුන්නාය.

මේ අතර එක් මැදිවියේ පුද්ගලයෙක් සමරකින් හා කමිසයකින් සැරසී බසයට ගොඩ වී ඇයට අසලින් ගමන් ගන්නට විය. දැන්නම් බසයේ වේගය මාරාන්තිකය. හදිසියේම බසය තිරින්ග යොදන්නට වූයෙන් සියල්ලෝම භිරාන්ත වූහ. අනේ අපේ නෝනාට මහත් කරදරක් වෙලාය. ඇයට ආවේගය පාලනය කරගත නොහැකිවී අසල සිටි අර පුද්ගලයාගේ සරමෙන් අල්ලුවාය. සරම කලිසම මෙන් තදව නොසිටින බවත් ඇද්දොත් කැඩෙන බවත් අප කවුරුත් දන්නා දෙයකි. එය එසේම විය. අපේ නෝනාගේ ඇදිල්ලට අර පුද්ගලයාගේ සරම කැඩුනේය. ඒ සමගම නෝනාට තවත් පාලනය නැතිවිය. ඇගේ මුහුන අර පුද්ගලයාගේ පසුපසට තද උනේය. "ඕ... ෂිට්!" කියා නෝනා කිව්වත් ඇයගේ රතු පැහැ තොල් ආලේපනයෙන් අර මගියගේ සුදු පැහැ යට කලිසමේ ලකුණු දමා හමාරය. ඔහු කේන්තියෙන් සරම ඇඳගෙන “It is totally OK maa’m. But it is very nice if you control your self…” යනුවෙන් කොටන්නට විය.

කතාව එහෙම ඉවර උනාට ඇය ෆොෂ් ද? ඇය ගමේ එක් සිංහල යුවතියක් නේද? ඇය මේ විලාසිතා කියා වැළඳගෙන තියෙන්නේ කුමකද? පර සුද්දා අපට ඉතුරු කර ගිය හරිය නෙවේද? මේ ෆොෂ් රැල්ලට අද බහුලව අසුවී ඇත්තේ කාන්තාවන්ය, විශේෂ්යන්ම ගමෙන් සිදාදියට පැමිණි යුවතියෝය. ඔවුන්ට මේ අරුන්ගල් සරුංගල් වගේය. කර ලොකු හැට්ටයක් ඇඳගෙන එක උරකින් එය පහතට දමා තමාගේ බ්‍රාර් එක අනුනට පෙන්වීම යනු ෆොෂ්ද? අර ලස්සනට දිගට තියෙනා නීල වරලස කපා දමා හෝ කැරලි දමාගෙන හෝ පොඩ්ඩක් පාට කිරීම යනු ෆොෂ්ද? කාන්තාවන් කලිසමට කිසි ලස්සනක් නැති උනත් එය තට්ටමෙන් භාගයක් පෙනෙනා අයුරින් ඇඳීම යනු ෆොෂ්ද? නිදහසේ ගමන් කල හැකිව තිබියදී කකුල් බිම අද්දවමින් පද්දවමින් ගමන් කිරීම යනු ෆොෂ්ද? සිංහල වචන අස්සට කඩ්ඩ වචන කෑලි දමා සිංහල නොදන්නා ඉංග්‍රීසියෙන් අකුරු කියවූ එකෙකු මෙන් එම ඉංග්‍රීසිද අපේ අර නෝනා වගේ භාගෙට උච්චාරණය කරමින් කතා කිරීම යනු විශේෂයෙන්ම ෆොෂ්ද?

අපෝ එයා හරිම "ෆොෂ්", ඒ හින්දා ගොඩාක් අය එයාට කැමතියි කියන අයද අද සමාජයේ බහුලව දක්නට ඇත්තේය. මොවුන්ගේ මෙම "ෆොෂ්" යන්න කුමක්ද? එයා හරිම සංකරයි කියන එකද? නැත්නම් එයාට හරිම මෝල් කියන එකද? වෙනම සමාජ තලයක් ගොඩ නගාගැනීමට දරන මිලේච්ච උත්සාහයක්ද? කෙසේ හෝ ඔය කියන "ෆොෂ්" සමාජයේ ඉන්න උදවිය අද රටේ සිදුවන්නේ කුමක්ද යන්නවත් ඔවුන්ට සිදුවන්නේ කුමක්ද යන්නවත් නොතේරෙන බයියලාය. නියම "ෆොෂ්" උදවිය බොරුවට රඟ නොපාති. ඔවුන් සැබැවින්ම්ම "ෆොෂ්"ය. ඒ නම් මේ කියනා "ෆොෂ්" නොවේය.

අපිනම් එහෙම සංකර නෑ යැයි කියූ එක කාන්තාවක් දෙස මගේ නෙත් යොමු වූයේ පසුගිය දිනෙකය. ඇය සැබැවින්ම ලස්සනය. හැඳ සිටියේද සාරියකි. නමුත් ඇගේ හැට්ටයේ පසු පැත්තේ කැපුම අඟල් 12ක් විතරය. බලනා ඕනෑම කෙනෙකුට ඇගේ පිටේ තිබූ ලප කැලැල් සියල්ලද තවත් සමහර පුද්ගලික සීරීම් වැනිදේද මනාව බල ගත හැකිව තිබුනේය. ඔබ කවුරුත් දන්නා "ඔබේ තීරය", නාභිය නොහොත් බුරිය අපේ භාෂාවෙන් අවට ප්‍රදේශය, සාරිය හා හැට්ටය අතර ඇති ප්‍රදේශය, හපෝ ඒක ගැන කියලා වැඩක් නැත්තේය. පෙර කල ලංකීය කාන්තාව ඔය බුරිය වැසෙන ලෙසට ඇදුම් ඇන්දෝය. අද කාන්තාවෝ එය පෙනෙනා පරිදිම ඇඳුම් අඳින්නෝය. මේ "ෆොෂ්"  වීමටද? මේ ඇයගේ ෆොෂ් ද? නැත්නම් ... ද?

අද සමාජයේ බොහෝ කාන්තාවෝ ඉහල සමාජ තලවල ඉන්නා බව පෙන්වීමට මෙම ෆොෂ් යන්න යොදා ගනිති. මෙයින් ලංකාවේ අන්න්‍යතාවයට කෙලවෙනබවත් ඔය ෆොෂ් අයටත් අන්න්‍යතාවක් නැතිවෙන බවද ඔවුන් දන්නේ නැත. ඒකෙන් ඔවුන්ට කිසිකමකුත් නැත්තේය. ලංකාවට මක බෑ වුනත් ඔවුන්ට කම් නැත. ඔවුන් ජීවත් වෙන්නේ සංකර ලොවකය. යන තැනක් ගැන දන්නේ නැත. ඉන්නා තැනකුද නැත්තේය. කෙසේ හෝ මට අවසාන වශයෙන් කීමට ඇත්තේ මෙපමණය.

"ෆොෂ්" යනු කිම? "

ෆොෂ් යනු "පුස්" යන පිරිසිදු සිංහල වචනයයට හරියටම සමාන සංකරයන්ගේ ලොකයේ සංකර භාෂාවේ සංකර වචනයයි.

සංවාදයට විවෘතය.
පිළිතුරු බ්ලොග් තිබේනම් මෙහි දමන්න

December 10, 2009

අපේ බබා - 2 වන මාසය

දැන් දැන් මගේ බලාපොරොත්තු ඉහළ යමින් තිබුනේය. කෙසේ හෝ මට දැන් අවශ්‍යව තිබුනේ මේ මොකද්ද යන්න දැනගැනීමය. "මේක නම් බබෙක්ම වෙන්න ඕනෑ" කියලා මගෙ යටිහිත කීවත් පුංචි පහේ අවිනිශ්චිත බවකුත් හිතේ හොල්මන් නොකලාම නොවෙයි. ඒ බව මම බිරිඳට නොපවසා සිටීමට තරම් මම පරිස්සම් උනෙමි. කෙසේ හෝ අපි මීළඟ සෙනසුරාදා පවුලේ දොස්තර හමුවන්නට යොදා ගත්තෙමු. මේ අතරතුර පොඩි සිනහ නැගෙන වැඩක් සිදුවූ අතර මම එය සඳහන් කිරීමෙන් වැලකී සිටින්නෙමි. එය කුමක්ද කියා මගෙන් නම් අහන්න එපා.

ඉතින් ඔන්න සෙනසුරාදා දිනය එළඹුනා. "ඔයා ඉස්සරලා යන්න, මට නිකන් මොකද්ද වගේ" කියමින් ඇය මාව ඉදිරියට තල්ලු කරමින් මගෙ පසුපසම ආවය. ඇත්තවශයෙන්ම පවසනවානම් මටද මේ වනවිට තරමක චකිතයක් නොතිබුනා නොවෙයි. මෙවැනි සිද්ධියකට මුහුණදුන් පළමු අවසථාව මෙය බැවින් මමද තරමක් අපහසුවකට පත්ව සිටියෙමි. නමුත් මා ඒ බව බිරිඳට නොතේරෙන පරිදි මුහුණ සිනහවකින් සරසාගෙන "හරි හරි... මං යන්නන්, ඒ උනාට ඔයාවනේ චෙක් කරන්න ඕනෑ. මම නෙවෙයිනේ" කීවෙමි. එයට මද සිනහ නැගූ ඇය "යමු යමු.." කීවාය.

"යමු යමු අනේ විහිළු නොකර, සෙනඟ බලාන ඉන්නවා" යැයි බොරුවට කියමින් මාව ඉදිරියට තල්ලුකලාය. දැන් එළඹ ඇත්තේ තරමක අසීරු අවස්ථාවකි. "මම මේක කොහොමද කියන්නේ..." දහසක් සිතිවිලි මගේ සිතතුළ තෙරපෙන්නට විය. "මෙයාට බබෙක්ද කියලා චෙක් කර ගන්න ඕනෑ, චෑ... චෑ... චෑ... ඒක හරි නෑනේ. පොඩි කඩු වචන දෙක තුනක් දාල අහනවා, ඒක ෂේප්නේ. අන්න හරී, ඔව්, ඔව් ඒක හරි...." මෙන්න මේ විදියට නොයෙකුත් විකාර අදහස් එන්නට විය. අප දැන් ඉන්නේ දොස්තර ඉදිරියේය. "ආ... වාඩිවෙන්න. මොකද අද... ම්..." කියමින් දොස්තර සුපුරුදු විදියට අපට අපව පිළිගත්තේය. "මේ... මේ.. මෙයා ප්‍රෙග්නන්ට්ද කියලා මේ ටෙස්ට් කරගන්න ඩොක්ටර්..." බිරිඳ දෙසට ඇඟිල්ල දිගු කරමින් තරමක අමාරුවෙන් මම වචන ගලපා ගත්තෙමි. "ආ.. බලමු, බලමු..." කියමින් දොස්තර පරීක්ෂණයක් කලේය.



මේ අතරතුර ආ ගිය තොරතුරු විමසමින් සිටි ඔහු එකපාරම "මෙයාට බබෙක් ඉන්නවා, බලාපොරොත්තුව නේද හිටියේ" කියමින් ඉඟිමරමින් සිනාසුනේය. මට එකපාරම ඇයගේ අතින් ඇල්ලිනි. ඇයද මගේ අත තදින් මිරිකුවේ මුවෙහි රෝසමලක් වගේ සිනහවක් පුරවාගෙනය. මට ඇයව සිඹින්නට අවශ්‍යව තිබුනත් මම ඉවසාගෙන සිටියෙමි. දොස්තර යම් බෙහෙත් වර්ග කිහිපයක් ලියාදුන් අතර අපට සුභ පැතුවේය. එතැනින් අප පිටවුනේ හනිකට නිවසට එන්නටය. "මම දැන් මොකද කරන්නේ... ම්.. මේක සමරන්නත් ඕනෙනෙ" යැයි සිතූ මම ලොකුම ලොකු "කැන්ඩොස්" වර්ගයේ චොකලට් එකක් ගත්තේ අප එදා සිට යමක් සමරනවිට පළමුව එන්නේ චොකලට් නිසාය. "අනේ එපා" කියමින් ඇය එය අතට ගත්තේ සුපුරුදු ලෙසින්ම බොරුවට ආඩම්බරපාමිනි. ඇය මෙම වර්ගයේ චොකලට් සඳහා බොහෝ කැමතිබව මා දන්නේ මීට වසර ගනනාවකට කලින් සිටය.

මේ වනවිට සැප්තැම්බර් මාසයේ අවසානයටද පැමිණ තිබුනා.

December 8, 2009

විචාරය - අම්මා සඳකි

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පියසෙනෙහසට කව්ගී ලියවුනා මදී...


සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවිබර මට රැඳුනේ
මහමෙරකට උසයි දරුපෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ...


මවකට මුවාවී නුඹ වෙත දිවිදුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ..





ටී. එම්. ජයරත්න මහතා ගායනා කරනා "අම්මා සඳකි" ගීතය මා ප්‍රිය කරනා ගීතවලින් එක් ගීතයකි. අප මෙම ගීතය ගැන කාගෙන් හෝ විමසනවිටදී පවා අප අසන්නේ "ඔබ අම්මා සඳකි ගීතය අසා තිබේද?" යනුවෙන්ය. නමුත් ඔබ මොහොතක්වත් එහි ඊළඟ පද දෙක ගැන විමසුවාද? එයනම් "මම ඒ ලොව හිරුය රිදී". ඇත්ත වශයෙන්ම පවසනවානම් මමද එය එලෙසින්ම පවසා ඇත. නමුත් අප මෙහි සිතිය යුතු මහා බැරෑරුම් අදහසක් පවතී යන්න මගේ අදහසයි. මෙම ගීතය රචනා කල රචකයා කුමන අදහසකින් මෙය රචනා කලත් රසිකයාට කැමති අයුරකින් එය විචාරය කල හැකිය. සමහරවිට මගේ විචාරය රචකයාට පරස්පර විය හැකිය.


දරුවකුට පියකු පිළිඹඳව ආදරයක්, සෙනෙහසක් හෝ බැඳීමක් ඇතිවීමට බොහෝ කලකට පෙර අම්මා ගැන ආදරයක් උපදී. මා සිතනා පරිදි එය සිදුවන්නේ දරුවා අම්මාගේ කුසතුළ වැඩෙනා සමයෙදීමය. එම නිසාමදෝ බොහෝදෙනා අම්මා ගැන කවි, ගී රචනා ලියන්නට විය. අකුරු කියවනවිටදී පවා පටන්ගන්නේ "අ අම්මා" කියා මිසක් "ත තාත්තා" කියා නොවේය. මෙහි කිසිදු වරදක් මා නොදකී. එය එසේම විය යුතුය. මේ ගැන පියාටද කිසිදු තරහක්වත් දුකක්වත් ඇතිවන්නේද නැත. නමුත් අම්මාගේ ආදරයට නොදෙවෙනි ආදරයක් පියා තුලද පවතී. මෙය දරුවකුට තේරුම් නොගන්නේ මන්දැයි යන්න පියාට මහත් ගැටළුවකි. එමනිසා පියා තුල ඇතිවූ වේදනාබර සිතිවිලි මෙලෙස පත් ඉරුවල බොඳ විය.


පුතේ, උඹේ ලෝකය එළිය කරන්නේ ඉරයි, හඳයි. උඹලගේ අම්ම හරියට පෝයදාට පායපු පසොලොස්වක හඳ වාගෙයි. හරිම සෞම්‍යයයි. පොඩ්ඩක්වත් සැර නෑ. උඹට ගහනකොට බනිනකොට උඹව බේරාගන්නා අම්මාගෙන් විතරක් නෙමෙයි පුතේ උඹේ ලෝකය ලස්සන වෙලා තියෙන්නේ. අම්මට එහෙම හඳක් වෙලා පායන්න, උඹේ ලොකය එළිය කරන්න මමත් පුතේ දහදුක් විඳලා තියෙනවා. උඹ අම්මගෙ බඩේ ඉන්න දවස් වල මම වැඩිපුර කුලී වැඩ කලා පුතේ වැඩිපුර කීයක් හරි හොයාගන්න. ඒ කලේ පුතේ මට කන්න නෙමෙයි, උඹලගේ අම්මට මාළු කෑල්ලක් ගන්න, හොඳ එළවලු ටිකක් කන්න දෙන්න. මගේ අතේ කරගැට එනකන් මම වැඩ කෙරුවා පුතේ. ඒ පුතේ උඹට තියෙන ආදරේටමයි.


උඹ ඉපදුනවෙලාවේ අම්මාවගේම මමත් ගොඩාක් සතුටුවුනා. පුතේ උඹ දන්නවද උඹේ දුවන්නෙත් මගේ ලේමයි කියලා. මගේ ලේ තියෙන රත්තරං පුතේ මම උඹව මගෙ බඩේ තියාගෙන හැදුවෙ නැති උනාට මට ගෙදර බර තිබුනා උස්සාගෙන ඉන්න. උඹට කන්න අඳින්න දෙන්න, ලෙඩට දුකට බෙහෙත් අරන් දෙන්න, ඉස්කෝලෙ යවන්න, ලොකු උගතෙක් කරන්න. උඹට පොඩ්ඩක් අසනීප වෙනකොට වෙද මහත්ත්යා ගාවට උස්සාගෙන ගියේ මගෙ ඔලුවේ ගිනිගොඩක් තියාන පුතේ. පුදුමයි පුතේ මෙහෙවු කෙරූ මගේ ලේ කිරි නොවුනා උඹේ අම්මගෙ වගේ.          


උඹ දන්නේ නැති උනාට පුතේ උඹලගෙ අම්මත් එක්ක එකට ඉඳලා තමයි මම උඹට පණ දුන්නේ. උඹ ඒක තෙරුම් ගනියි ලොකු උනාම. එහෙව් කරපු මගේ සෙනෙහස උඹට පෙනෙන්නේ නැද්ද මගෙ ආදර පුතේ? උඹලට අම්මගේ ආදරේ විතරද පේන්නේ? මං කොච්චරනම් ආසද උඹ ඒක තේරුම් ගන්නවද? අම්ම වගේම මමත් උඹට ආදරෙයි කියලා.


අවසානයේදී පියා මෙලෙස පවසන්නේ තරමක කේන්තියෙනි.
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ

December 7, 2009

අපේ බබා - 1 වන මාසය

අගෝස්තු මාසය මුලදී අපට අපගේ නව නිවසේ වැඩ සඳහා වැඩිපුර කාලයක් යෙදවීමට සිදුවිය. මට වඩා එය කිරීමට සිදුවුනේ මගේ බිරිඳටය. මා දහවල් කාලයේදී රැකියාවට ගිය පසුව මේසන් බාසුන්නැහැලා සමග කටයුතු කලේ මගේ බිරිඳය. මගේ වාසනවට මෙන් ඇය රැකියාවෙන් ඉවත්වීම මට මහත් සහනයක් ගෙන දෙන්නත විය. නිවසක ඉදිකිරීම් කටයුතු සිදුවනවිට ඒ සඳහාම නියැලුණු කෙනෙකු සිටිය යුතුමය. නැතිනම් “බාස්ට” ඕනෑ ඕනෑ ආකාරයට එය නිමකරනවා ඇත. පසුව අපට වැඩ දෙගුණයක් වන්නේය. කෙසේ හෝ එය මට යන්තම් හෝ අස්වැසිල්ලක් වූයේ ඇයට දැන් දහවල් කාලයේ ඉටුකිරීමට වැඩ තිබීම නිසා ඇගේ තිබූ ආතතිය අඩුවූ බැවින්ය. මේ අයුරින් අගෝස්තු මාසයේ පළමු හා දෙවන සති දෙකම ගෙවීගියේය. නමුත් අගෝස්තු 13 වන දින ඇය ගැබ්ගෙන තිබූබව ඇය නොදැන සිටියාය. ඒ බව දැනගැනීමටද කිසිදු ලකුණක් අප සතු නොවීය. සුපුරුදු පරිදි මම සතියේ දින 5 රැකියාවට යන අතර ඇය නිවසේ කටයුතු කරමින් සිටියාය.

කෙසේ හෝ අගෝස්තු මාසය අහවරවී සැප්තැම්බර් මාසය එළඹුනේය. බිරිඳට මේ වනවිට සැකයක් පහල වී තිබුණි. එක දවසක අපි දෙදෙනා රාත්‍රී අහාරයෙන් පසුව රූපවාහිනියේ නාට්‍යයක් බලමින් සිටියෙමු. බිරිඳ එදා මට වඩාත් ලංව සිට නොයෙකුත් දේ තෙපලන්න්ට විය. සාමාන්‍යයෙන් ඇය වඩාත් ආදරයෙන් මුමුනන්නේ මොනවා හෝ වැදගත් යමක් කීමට බව මා දැන සිටියෙමි. නමුත් එදා මා සිටියේ තරමක මහන්සියෙනි. එම නිසාම මට එය නොහැඟුනේය. මා ගනන් නොගත් නිසාම එදා ඇය මට කිසිවක් නොකියා සඟවා තබාගත්තාය. කාන්තාවන් කොපමණ සුන්දරද යන්න මෙයින් මොනවට පැහැදිළි වේද? කොපමණ වැදගත්වුවත් සැමියා ඇසීමට සූදානම් නැත්නම් බිරිඳ එය කියන්නේ නැත. (මෙයට අහංකාරය කියාද කියනු ලබන අතර මේ ගති ගුණය ඇත්තේ ගැහැණුන්ටමය.)

පසුදා රාත්‍රියෙත් ඇය පෙරදා මෙන්ම මට බොහෝ ළංව ලෙංගතුව නොයෙකුත් දෑ පවසමින් සිටියාය. කිසිම දිනෙක ඇය යමක් එකවර පවසන්නේ නැතිබව දන්නා මා (මේ වාගේ සුන්දර හැසිරීම තමා මාව එදත් වෂී කලේ) මට එදා ඒ බව ක්ෂ්ණයෙන් තේරුණේය. ඒ සමඟම මා කලින්දා කල අඥාණ ක්‍රියාවද මට සිහියට නැගෙන්නටත් විය. ඇය යම්දෙයක් කීමට අර අඳිමින් සිටි හැටිත් මා ගනන් නොගත් හැටිත් ඇය එය නොකියා සිටි හැටිත් එකිනෙක මත සිහිවිය. ඒ නිසාම මගේ මුවඟට සිනහවක් ආවේය. එදා මෙන්ම ඇගේ ආඩම්බරකම තවම තියෙන හැටි, ආසයි මම අදත් ඒකට.


පසුදා රාත්‍රියෙත් ඇය පෙරදා මෙන්ම මට බොහෝ ළංව ලෙංගතුව නොයෙකුත් දෑ පවසමින් සිටියාය. කිසිම දිනෙක ඇය යමක් එකවර පවසන්නේ නැතිබව දන්නා මා (මේ වාගේ සුන්දර හැසිරීම තමා මාව එදත් වෂී කලේ) මට එදා ඒ බව ක්ෂ්ණයෙන් තේරුණේය. ඒ සමඟම මා කලින්දා කල අඥාණ ක්‍රියාවද මට සිහියට නැගෙන්නටත් විය. ඇය යම්දෙයක් කීමට අර අඳිමින් සිටි හැටිත් මා ගනන් නොගත් හැටිත් ඇය එය නොකියා සිටි හැටිත් එකිනෙක මත සිහිවිය. ඒ නිසාම මගේ මුවඟට සිනහවක් ආවේය. එදා මෙන්ම ඇගේ ආඩම්බරකම තවම තියෙන හැටි, ආසයි මම අදත් ඒකට. ඉතිං මම ඇයට අවස්ථාවක් ලබාදුන්නෙමි. “ඉතිං කියන්න මොකද්ද ඔයාට කියන්න තියෙන්නේ?…” මම ඇසුවෙමි. “එහෙම බෑ. ඔයා ගෙස් කරන්න හා…” ඇය මට කීවාය. මට කිසිවක් එකවර සිහියට ආවේ නැත. මට යන්තම් හෝ අදහසක් අවේ අපේ අලුත් ගේ ගැනය. නමුත් එහි අගය කලයුතු තරම් දෙයක් නැත. “අහ්! හරී මං දන්නවා… මගේ උපන්දිනය, මට ඒක අමතක වෙලා තිබ්බේ…” මම කීවෙමි.


මගේ උපන්දිනයද සැප්තැම්බර්  මාසයේ දිනයක් බැවින් මා සිතුවේ එය කියාය. “නෑ.. .නෑ… ඒක නෙමෙයි, එකට කේක් හදන්න බඩු ගත්තේ ඔයත් එක්ක ගිහින්මනේ අනේ.. වෙන එකක්… පොඩි බඩ්ඩක්… හා කියන්න… ඔයා දන්නවා අනේ…” ඇය එහාට මෙහාට පැද්දෙමින් කීවාය. අනේ! මගේ මොලේ තරම. අපි පුන පුනා බලා සිටි දෙයක් කොහොම අමතක වෙන්නද? ඒ නිසා “අනේ ඇත්තද? මම ඇයව තුරුළු කරගන්නා අතරතුරේ කීවේමි. “තවම දන්නේ නෑ හරියටම, මටනම් ෂුවර්, ඒත් අපි යමු ඩොක් ලඟට” ඇය කීවාය. මගේ ඉහේ මලක් පිපුනා වගේය. මා තවත් ඇයව තුරුලු කර ගත්තෙමි. දැන් මේක හරියටම දැන ගන්නාතුරු මට ඉවසුම් නැත. නමුත් මෙය වැඩිපුර බලාපොරොත්තු තබාගත යුතු නැත යන්න එකවරම සිහියට ආවේ “බැරිවෙලාවත් එහෙම දෙයක් නොවුනොත් ගොඩාක් දුක් වෙන්න වෙයි නේද” යන්නත් සමගය. කෙසේ වෙතත් මට දැන් අමුත්තක් දැනී තිබේ. කොහොමද ඒක ලියන්නේ. ඒක ලියන්න තියා කියන්නත් බෑ. හරිම අමුතු දෙයක්